Sunday, April 6, 2014

චාතාරික මෙනෙහි කිරීම් අපේ‍්‍රල් 07 සඳුදා



අපේ‍්‍රල් 07
සඳුදා
දිවැසිවර දනියෙල්: 13-1-9, 15-17, 19-30, 
33-62 හෝ 13: 41-62
ශු ජොහාන් 8:1-11

අනුන් විනිශ්චය නොකරමු.

චතාරික සමය තුළ කිතුනුවන් ලෙස මනස්ථාපනය වීමේ කාළ පරිච්ඡේදයක් තුළ සිටින අපට, අද දේව වචනය අනුන් විනිශ්චය කිරීම හා අපගේ පාපී බව පිළිබඳ මෙනෙහි කරන්නට ආරාධනා කර  සිටී. අදට නියමිත සුවිශේෂය තුළ ගෙනහැර දක්වන ආකාරයට, විනයධරයෝ සහ පරිසිවරු ඇතුළු පිරිස පව්කාර ස්ත‍්‍රියට ගල් ගැසීමට පැමිණියත් ඔවුන් ද පාපයට වහල් වී ජීවත් වන පිරිසක් බව එ් අවස්ථාවේදී ක‍්‍රිස්තුස් වහන්සේ ඔවුන්ට මතක් කර දෙයි.

එදා මෙන් අදත් මිනිසුන් වශයෙන් අප බොහෝ විට දකින්නේ, සිතන්නේ , කියන්නේ අනෙකාගේ වැරදි, දුර්වලතාවයන්  හා පාපයන් ගැනය. ඔබත්, මමත් සැම විට ඇඟිල්ල දිගුකරනුයේ  අනෙකා වෙතය. අපට අනෙකාගේ වැරදි  සෙවීමට, විවේචනය කිරීමට  ඕනෑ තරම් කාලය  තිබේ. නමුත් අප ගැන සිතන්නට කාලයක් නොමැත. කාලය තිබුනත් අවශ්‍යතාවයක් නොමැත. නමුත් අපගේ හදවත් වලට එබී බලා පුද්ගලයෙකු ලෙස සමාජයටත්, දෙවිඳුන්ටත් විරුද්ධව හැසිරුණු, ක‍්‍රියාකළ අවස්ථාවන් මෙනෙහි කර මනස්ථාපනය විය යුතු බව අද දේව වචනය අපට පෙන්වා දෙයි.

අපගේ කිතුනු ජීවිත තුළ දරුවෙක්, පියෙක්, මවක්, තරුණයෙක්,  තරුණියක, වැඩිහිටියෙක්, ලෙස සත්‍යයේ මාර්ගයෙන් ඉවත් වී, මං මුලාවී පාපය තුළ ගමන් කර තිබේදැයි අද දින සිතා බලමු. අනුන් ගැන විනිශ්චය කරන්නට නොව අප අපගේ හදවත් වලට එබී බලා, අප අපවම  විනිශ්චය කර ගනිමු. අද දින අපට කථා කරන හෘද සාක්ෂියට සවන් දෙමු. සත්‍යයේ හඬට, දෙවියන්ගේ හඬට බිහිරි වී ඇති අපගේ හදවත්හි කවුළු විවෘතකර සමිඳුන්ගේ ආදරයේ ආලෝකය, දයාවේ රශ්මිය අප හදවත් වලට ගලා එ්මට ඉඩ හරිමු. සැම විට  ක‍්‍රිස්තුස් වහන්සේ තුළ සිටිමින් ආලෝකයේ කිතුණුවන් මෙන් ජීවත් වීමට උත්සහ කරමු.

සුදත් නිර්මාල් ප‍්‍රනාන්දු
පළමු වසර දර්ශන පීඨය