Friday, April 4, 2014

චාතාරික මෙනෙහි කිරීම් අපේ‍්‍රල් 05 සෙනසුරාදා



අපේ‍්‍රල් 05 
සෙනසුරාදා
ජෙරමියා 11:  18-20
ජොහාන්  7: 40-53

අපි වෙනස් වෙමුද ?

ආත්මාර්ථය, ස්වාර්ථය වගේ දුර්ගුණ වලින් වැසී ගිය ඔබේත් මගේත් ජීවිත වලට අද සුපුවත ඉතා අගනා පණිවුඩයක් අරගෙන එනවා.....

අද සුපුවත ගෙන හැර දක්වන පරිදි එදා ක‍්‍රිස්තුන් වහන්සේගේ  වචනය අසා උන්වහන්සේව වැරදි විදිහට අර්ථකථනය කළ අය එම දේශනා ප‍්‍රතික්ෂේප කළා. නිසි කරුණු කාරණා නොදැන, හුදෙක් ඇසට පෙනෙන, කනට ඇසෙන දේ පමණක් සළකා තමයි ඔවුන් මේ ක‍්‍රිස්තු වචනය ප‍්‍රතික්ෂේප කළේ.

එ් වචනය ඔවුන්ගේ ජීවිත ක‍්‍රමයට සෘජු තර්ජන එල්ල කළා. එදා නීතියට වසන් වෙළා ඔවුන් ගතකළ පවිටු ජීවිත සමාජය ඉදිරියේ නිරුවත් කළා. එ් පරිසිවරුන් විනයධරයන්ගේ ජීවිත කොපමණ රළුද  කියනවා නම් නිකදේමුස් වගේ ධර්මිෂ්ඨ කෙනෙකුට වුවත් ඔවුන්ගේ දෑස් ඇරවන්නට නොහැකි වුනා. ක‍්‍රිස්තු වචනය තර්ජනයක් වන බව දැක එ් වචනය නොව ක‍්‍රිස්තුස් වහන්සේව නැසීමට ඔවුන් කුමන්ත‍්‍රණය කළා.

අපි අපේම ජීවිත දෙසට හැරෙමු. නිසි තතු නොදැන ගත් තීරණ නිසා අන් අයව කරදරයට පත් කළ අවස්ථා, අපේ ඉදිරි මගට තර්ජනයක් වේ යැයි සිතා සිටි අයව යටපත් කර දැමීමට ගත් උත්සාහයන්, සාධාරණය ඉදිරියේ අන්ධයන්, ගොළුවන්  බිහිරන් ලෙස කටයුතු කළ අවස්ථාවන්  ගැන මොහොතක්  නිහඬව මෙනෙහි කරමු. මේ වරප‍්‍රසාදීය කාළය තුල ඉන් එකකට හෝ නැවතීමේ තිත තබමින් අර්ථවත් පාස්කුවක් සමරන්නට අවැසි දෙව් සරණ හා මරිමව් පිහිට පතමු.

ඩොම්. කණිශ්ක පෙරේරා සා.බෙ.නි
පළමු වන වසර දර්ශන පීඨය