Friday, March 28, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 29 සෙනසුරාදා



මාර්තු 29
සෙනසුරාදා
හොසියා5:15-6:6
ලූක් 18: 9-14
‘‘ස්වාමිනී පව්කාර වූ මට කරුණා කළ මැනව’’

එක්තරා පාසලක තිබුණු සංගීත තරඟයකට එකම පන්තියේ යහලූවන් වන සුනිල් හා නිමල් ඉදිරිපත් විය. සුනිල් ගායනයට ඉතා දක්ෂ වූවා සේම ඔහු එ් පිළිබඳව ආඩම්බර වෙමින් අන් අයව කොන් කළේය. නිමල් ගායනයට දක්ෂ නොවූවද ඉතා උවමනාවෙන් තම අඩුපාඩු සංගීත ගුරුතුමිය ඉදිරියේ පිළිගනිමින් එම වැරද නිවැරදි කරගත්තේය. සුනිල්, ගුරුතුමිය පෙන්වා දුන් අවවාද නොපිළිගනිමින් ඇයව නොසලකා හැරියේය. තරඟය අවසානයේ ජයග‍්‍රාහකයා නිමල් විය.

ආදරණීය අම්මේ තාත්තේ, සහෝදර සහෝදරියනි, අපිත් අප ජීවිතය තුල මෙවැනි දේට මුහුණ දෙනවා නොවේද? අද සුපුවත තුළ එන පරිසිවරයා මෙන් ‘‘ මම උසස්ය’’ යන ස්ථාවරයේ සිට අන් අයව කොන්කරනවා නොවේද? අපගේ වැරදි දෙවියන් ඉදිරියේ පිලිගැනීමට මැලිවනවා නොවේද? අපේම සහෝදරයා ඉදිරියේ බැගෑපත් බව අමතක කර උඩඟුවී කටයුතු කරනවා නොවේද? අසල්වැසියාට විරුද්ධව කරන හැම පුංචි වරදක් ගානේම ජේසුව රිදවනවා නොවේද?

අපි මේ චතාරික සමය තුළ බැගෑපත් බවින් පිරි මනස්ථාපී ජීවිතයකට ඇතුළත්ව දෙවියන් වහන්සේට යාච්ඤා කරමු. ජේසුගේ කුරුසියේ බර සැහැල්ලූ කරමු. අද සුපුවතේ එන අයකැමියා ද නිමල් ද මෙන් අන් අය ඉදිරියේ බැගෑපත්ව කටයුතු කරමු. අපි බැගෑපත් සිතින් ‘‘මට සමාවෙන්න ජේසුනි’’ යැයි කීම දෙවිඳුන්ට ප‍්‍රසන්නම යැදුම බව අමතක නොකරමු.

එන්. සුමෙත් සුමේධ සහෝදරතුමා දි.ගැ.නි.
පළමු වන වසර දර්ශන පීඨය