Wednesday, March 26, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 27 බ‍්‍රහස්පතින්දා



මාර්තු 27
බ‍්‍රහස්පතින්දා
ජෙරමියා 7: 23-28
ලූක් 11: 14-23

දෙවිඳුන් මත යැපෙමු.


අප වෙනුවෙන් දිවි පිදු, අප ගැලවුම්කරුවාණන් වූ ජේසුස්  ක‍්‍රිස්තුස් වහන්සේගේ අසීමාන්විත  බල පරාක‍්‍රමය අපට වටහා ගැනීමට පවා  ඉතා අපහසුය. මන්දයත් එ් මේ ලොව සියල්ල මැවූ සියලූ බලැති දෙවිපියාණන්ගේම බලය නිසාය. එනමුත් එදා ක‍්‍රිස්තු තුමන් පෑ හාස්කම් යක්ෂාධිපතිගේ බලයෙන් සිදුකරන බවට චෝදනා ලබන්නට එතුමන්ට සිදු විය. එ් මන්දයත් දෙවිපියාණන් තුළ ඇදහිල්ල හා විශ්වාසය එ් පිරිස් අතරින් වියෝ වී තිබීමයි.

දයාබර සොයුර සොයුරියනි, අද සමාජය තුළ අපද ඇතැම් විට දෙවිපියාණන් තුළින් නික්මෙන්නාවූ එ් බලය අවතක්සේරු කරන්නෙමු. දුක්, පීඩා, ගැටළු හා බාධක සමඟ මේ ගෙවෙන්නාවූ ජීවිතය ප‍්‍රතික්ෂේප කරන්නට බොහෝ විට  පෙළඹෙන්නෙමු. එමෙන්ම ව්‍යාජ දෙවිවරු, බලි  හූනියම්, ශාන්තිකර්ම තුළින් සහනය සොයන්නට නිශ්ඵල  උත්සහයක් ගැනීමට පවා බොහෝ දෙනා බොහෝ විට පෙළඹේ. බොහෝ විට අද සමාජයේ කිතුණුවන් දෙවිපියාණන්ගේ ජීවමාන මහිමාන්විත වැඩසිටීම සැක කිරීමට පෙළඹේ.

ඉතින් මා දයාබර සොයුර සොයුරියනි, අප පියාණන් වහන්සේගේ ජනතාව තම ආධිපත්‍යයට අයිතිකරගැනීමට උත්සහ දරණ පාපය පරාජය කොට දෙවිපියාණන්ගේ  සැබෑ බලය අත්දකිමින් එම බලය මත යැපෙන්නට සැබෑ කිතුණුවන් ලෙස අපි අද සිට වෙර දරමු. 

හංසිත අයිසෙක් සහෝදරතුමා දි.ගැ.නි.
පළමු වන වසර දර්ශන පීඨය