Monday, March 24, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 25 අඟහරුවාදා

මාර්තු 25
අඟහරුවාදා
යෙසායා 7:10- 14, 8:10
හේබ්‍රෙව් 10: 4-10
ශු. ලූක්  1:26 - 38

‘‘විපුල ප‍්‍රසාදලත් උත්තමිය, ඔබට මංගල වේ, ස්වාමීන් වහන්සේ ඔබ සමඟය’’

ස්වාමීන් වහන්සේගේ මහා මංගල්‍යය, එනම් පාස්කු අභිරහස සැමරීමට මග හසර සූදානම් කරන අප හට අද දින  සුවිශේෂි දිනයකි. මන්දයත්, අප මහා ගැලවුම්කරුවන්ගේ උත්පත්තිය සැලකිරීම, එනම් දේව මෑණියන්ට මංගලම් කීමේ එම සුවිශේෂි සංසිද්ධිය අප අද දින සිහිපත් කරන්නෙමු.

අප සංස්කෘතිය තුළ පියකු නොමැති ළදරුවකුගේ උපතක් සැලකුවහොත් එම ස්ත‍්‍රියට අත්විඳින්නට සිදුවන, අවමාන, අප‍්‍රසාද නින්දා අපමණයි. සමාජය විසින් නිරායාසයෙන්ම එම ස්ත‍්‍රිය ප‍්‍රතික්ෂේප කරනු ලබයි. මීට වසර දෙදාහකට ප‍්‍රථමත් මෙවැනිම තත්වයක් එදා ඡුුදා සමාජයේ තිබෙන්නට ඇත. මෙවැනි සමාජ වටපිටාවක් තුළ මරියාවන්ගේ අවනත වීම, ඇගේ විශ්වාසයේ ප‍්‍රබල කම අපට පෙන්වා දේ. මරි මව්නගේ එම පිළිගැනීම නිසා අද දින සකළ මනුෂ්‍යයාට ගැළවීම ලැබී ඇත. 

අප ජීවිත දෙස මඳක් හැරී බලමු. කොතරම් අවස්ථා වලදී ස්වාමීන් වහන්සේගේ වචනයට අප ඇහුම්කන් නොදී තිබේද?  උන්වහනසේ අපහට නොයෙක් අවස්ථාවන් වලදී, නොයෙක් ආකාරයෙන් එතුමන් වෙත එ්මට ආරාධනා කළ අවස්ථා බොහෝය. අපගේ රැකී රක්ෂාවන් තුළ, නිවස තුළ, පාසල තුළ ආදී නොයෙකුත් ස්ථාන වලදී හා නොයෙකුත් කාර්යයන් හිදී උන්වහන්සේට සවන් දුන්නාද? එසේත් නැත්නම් උන්වහන්සේගේ ආරාධනය නොසලකා හැරියාද?

මහා මංගල්‍යයකට සූදානම් වන අප, එතුමාණන්ගේ ආරාධනාව අපගේ ජීවිතයට පිළිගන්නට සූදානම් වෙමු. අද දින සුවිශේෂය මෙනෙහි කරමින්, දේව අම්මා ස්වාමීන් වහන්සේගේ හඬට නිහතමානීව සවන්දුන්නා සේම, අපත් උන්වහන්සේට සවන් දෙන්නට අපගේ සිත් සතන් සූදානම් කර ගනිමු. එවිට අප ජීවිතයේද නව උපතක් සිදුවනවාට කිසිදු සැකයක් නැත.

තරිඳු නුවන් සහෝදරතුමා දි.ගැ.නි.
පළමු වන වසර දර්ශන පීඨය