Saturday, March 22, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 22 සෙනසුරාදා



මාර්තු 22 
සෙනසුරාදා 
මීකා  7:14-15, 18 - 20
ලූක් 15: 1-3, 11-32 

සැබෑ මනස්ථාපනය සැබෑ පේ‍්‍රමයේ ඇරඹුම වේ.

ප‍්‍රියාදර සහෝදර, සහෝදරියනි, චතාරික සමය වනාහි ඉතා සුවිශේෂ කාල පරිච්ෙඡ්දයකි. ඒ මන්ද ක‍්‍රිස්තු අනුගාමිකයන් වන අපට චතාරිකය, දේව පේ‍්‍රමය ඉතා සමීප අයුරින් අත්දැකිය හැකි කාල පරාසයක් වන බැවිනි.

නූතන සමාජය දෙස නෙත් යොමන කල අපට පෙනී යනුයේ උත්තරීතර වූ මනුෂ්‍යත්වය මනුෂ්‍යයා විසින්  කෙතරම් පහතට, අගාධයට දමා ඇත්ද යන්නය. අද සතර දෙසින්ම ඇසෙනුයේ මනුෂ්‍යයා තුළ ඇත්තාවූ අමනුෂ්‍යත්වයයි.

නූතන මනුෂ්‍යත්වය කෙතරම් පිරිහී ඇත්දැයි කිවහොත් කිසිඳු බියකින් තොරව මිනිස් ඝාතන, ස්ත‍්‍රී දුෂණ, ගබ්සාව , ළමා අපචාර වැනි පාපතර ක‍්‍රියාවන්හි ඇලී ගැලී සිටියි. එමෙන්ම තම හෘද සාක්ෂිය එසේත් නැතිනම් ශුද්ධාත්මයාණන් කථා කරන හඬ ඇසි ඇසීිත් නො ඇසෙනා සේද සිටිති.

අද දිනට නියමිත ශු. ලියවිලි පාඨයන්ගෙන් අපට ගෙනහැර පානුයේ දෙවිඳුන් තුළ වූ අපරිමිත දයානුකම්පා සහගත හදවතයි.

‘‘අපගේ පව් පාගා දමා මුහුද පත්ලට හෙළන සේක’’ පාපී මනුෂ්‍යයන් වන අපද සැබෑ මනස්ථාපනයෙන්  යුතුව සමිඳුන් දෙසට හැරී එන කල, නැතිවූ පුත‍්‍රයා පශ්චත්තාපිත සිතින් නැවතහැරී ආ විගස සිය පියාණන් අනුකම්පාවෙන් ඇළලී ඔහු භාරගත් සේම අප දෙවිඳාණෝ ද අප භාරගන්නා සේක. අප නැවත එතුමන් හා සමඟ සමඟි කරන සේක.

එහෙයින් ක‍්‍රිස්තු අනුගාමිකයන් වන අප මෙම චතාරිකය තුළ මනුෂ්‍යය ජීවිතයේ අරුත, වටිනාකම සිත තුළ නිදන් කර සැබෑ මනස්ථාපනයෙන් යුතුව සමිඳුන් වෙතට හැරී එන්නට අදිටන් කර ගනිමු. එ් මන්දයත් සැබෑ මනස්ථාපය සැබෑ පේ‍්‍රමයේ ඇරඹුම වන බැවිනි.
මැතිව් ජොයිස්ටස් සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය