Sunday, March 16, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 16 ඉරිදා



මාර්තු 16
ඉරිදා
උත්පත්ති 12:1-4
2 තිමෝති 1:8 - 10
මතෙව් 17:1-9

මම මොහු කෙරෙහි ප‍්‍රසන්න වී සිටිමි.

අද දිනයට නියමිත ශුද්ධ වූ සුවිශේෂ පාඨය ක‍්‍රිස්තුන් වහන්සේගේ සැබෑ දිව්‍යමය ස්වරූපය පෙන්නුම් කරනු ලබයි. සෑම වසරකම ශුද්ධ වූ සභා මාතාව අපගේ උතුම් මංගල්‍ය වන පාස්කු මංගල්‍ය සමරන්නට ඇරයුම් කරන අතරම අපගේ සැබෑ ස්වරූපය  ගැන ගැඹුරින් සිතා බැලීමට ආරාධනා කරනු ලබයි. මිනිසුන් වශයෙන් අප ප‍්‍රියකරනුයේ, තවත් අයෙකුගෙන් අපගේ ජීවිත පිළිබඳ යහපත් ප‍්‍රතිචාරයකි. එම යහපත් ප‍්‍රතිචාරය ලබන්නට විටෙක, අප අන් අය ඉදිරියේ බොරු රඟපෑමක  නිරත වෙනවා. එසේත් නැතිනම් වෙස් මුහුණක් බැඳගෙන ජීවත් වෙනවා. අපට සමීප අයෙකු අපට වඩා ඉදිරියට යන විට, අප ඔවුනට අපගේ හදවතින්ම සුභ පතනවාද?  ඔහුව දිරිමත් කරනවාද? එදා අන්‍ය රූප විපර්යාසය වූ අවස්ථාවේත් ක‍්‍රිස්තුස් වහන්සේගේ බෞතිස්ම ස්නාපනය දිනයේත් දෙවිඳුන් වදාළ වාක්‍ය වූ ‘‘මේ මාගේ ප‍්‍රියාදර පුත‍්‍රයාණෝය. මම මොහු කෙරෙහි ඉතා ප‍්‍රසන්න වී සිටිමි.’’ යනුවෙන් අසන්න ක‍්‍රිස්තුන් වහන්සේ එදා භාග්‍ය ලැබුවාක් මෙන්, ඔබත් මමත් උන්වහන්සේගේ මුවින්  එම ශ‍්‍රී වාක්‍ය අසන්නට සුදුස්සන් වෙමුද? අපට සමීප අයෙකුගේ මුවින් ‘‘ඔබගේ සමීපයෙකු වීමට ලැබීම මහත් වාසනාවකි’’ යනුවෙන් අසන්නට අප සුදුස්සන් වෙම්ද? යන ප‍්‍රශ්නය මෙනෙහි කිරීමට අද දින වෙසෙසින් ඇරයුම් ලබයි.

එරන්ද පුෂ්ප කුමාර සහෝදරතුමා. 
පළමුවන වසර දර්ශන පීඨය