Friday, March 14, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 14 සිකුරාදා



මාර්තු 14
සිකුරාදා
එසකියෙල්  18:21-28, 
ශු. මතෙව් 5:20-26



පෙම් කරන්න එකිනෙකාට සුහද සොයුරු පේ‍්‍රමයෙන් දිවි ගෙවන්න එකමුතු වී සමිඳුන් තුල සාමයෙන්

ක‍්‍රිස්තුස් වහන්සේගේ පේ‍්‍රමය තුළ ජීවත් වන කතෝලිකයන් වන ඔබත් මාත් එදා කල්වාරියේ ජේසු සමිඳාණන් අප උදෙසා වැගිරූ ශ‍්‍රී රුධිරය කරනකොටගෙන එකම සහෝදර කැලක් බවට පත්ව සිටින්නෙමු. අද දිනට නියමිත ශු. ලියවිලි පාඨය තුළින් අපට මතක් කර දෙන්නේ ගිලිහී යන සහෝදරත්වයේ උතුම් මනුෂ්‍ය ගුණාංගයන් නැවත කිතුණු හදවත්වල ප‍්‍රතිස්ථාපනය කළ යුතු බවයි.

කිතුණුවන් වන ඔබත් මාත් ජීවත් වන වත්මන් සමාජය කෙතරම් දූෂිතද යන්න මා ඔබට අමුතුවෙන් මතක්කර දිය යුතු  නැත. දුෂණය, බල තණ්හාව, ලිංගික අපචාර, ලෞකිකත්වය දවසින් දවස ඉහල යන වත්මන් සමාජ රටාව තුළ, අද ඇතැම් විට කතෝලික අපිදු ලෞකිකත්වයේ වහලූන් බවට පත්ව ඇත. හොඳින් හෝ නරකින් තම තමන්ගේ වුවමනා එපාකම් ඉටුකර ගැනීමට එක බඩවැල කඩාගෙන ආ සහෝදරයාව පවා මැරීමට පොළඹවන සිතුවිලි අද අපේ සිත් තුළ මුල් බැසගෙන හමාරය.

අද පියා තම පුතු හදුනන්නේ නැත. එකම නිවසක වාසය කරන්නන් හැසිරෙනුයේ අමුත්තන් ලෙසය. කතෝලික පවුල් බොහොමයක් අද අකාලයේ විනාශ මුඛයට ඇඳ වැටෙමින් පවතී. එකම නිවසේ ජිවත්වන සහෝදර සහෝදරියන් එකිනෙකා අමතනුයේ පිස්සී.... මෝඩි... හරකා... මෝඩයා... මැට්ටි... යන අප අසන්නටවත් අකමැති වාග් මාලාවකිනි. මොහොතක් සිතා බලන්න, කතෝලිකයන් වන අපිදු අපේම සහෝදර සහෝදරියන්ට මෙලෙස ආමන්ත‍්‍රණය කළ වාර කොපමණ නම් ඇත්ද? මෙම පාස්කුව තුළදී වත්, අද අපෙන් ගිලිහී යන  මනුෂ්‍යත්වයේ ගුණාංගයන් අප තුළ නැවත ඇතිකර ගනිමින් දෙවිදුන්ට ප‍්‍රසන්න ජීවිතයක් ගත කිරීමට වෙහෙසෙමු.

ඩිලාන් ආසිරි සහෝදරතුමා
පළමු වසර දර්ශන පීඨය