Friday, March 7, 2014

චාතාරික මෙනෙහි කිරීම් මාර්තු 07 සිකුරාදා



යෙසායා: 58:1-9
ශු. මතෙව් :9: 14- 15

කිතුණු අපේ උපවාසය ‘‘ලොවට පෙනෙන්නට නොව කයට දැනෙන්නට’’

උපවාසය එදා ජුදා සමාජයේ වගේම අද වත්මන් සමාජයේද අධ්‍යාත්මය ගොඩනඟන  අභ්‍යාසයකට වඩා හුදෙක් ලෞකික අරමුණු වලට ගොදුරුවෙලා. ඇතැම් විට උපවාසය තම ජීවිතයේ කිලිටි වසාගෙන සමාජය හමුවේ බැබලීමට මාර්ගයක් බවට පත්වෙලා. අද දිනයට නියමිත දේව වාක්‍ය අපට පහදා දෙන්නට උත්සාහ ගන්නේ මේ ඛේදනීය තත්ත්වයයි. අද සමාජයේ ඇතමුන් එක් ආහාර වේලකට දස දහස් ගණනින් මුදල් වැයකරද්දී අපේ මේ පුංචි රටේම ජීවත්වෙන යන්තම් ආහාර වේල් දෙකක් බතුයි සම්බෝලයි කාල ජීවත්වෙන, බඩගින්නේ පීඩා විඳින ජනතාව ගැන සුළු හෝ තැකීමක් නොකරන තැනට අද සමාජයේ අසල් වැසියා ගැන තියෙන සංවේදීකම ගුණධර්ම පිරිහිලා, වියැකිලා. තමුන්ගේ දරුවන්ගේ හෙට දවසේ සාගින්දර නිවන්නේ, කන්නේ මොනවාද කියල දිලිඳුකමින් මැරි මැරී ජීවත්වෙන, හිතන, හූල්ලන දෙමාපියෝ මේ පුංචි රටේම කොපමණද? අනන්තයි අප‍්‍රමාණයි නේද? ’’ පුංචි උදාහරණයක් විදියට අපේ සිතට තට්ටු කරලා බලමු. අපි සැබෑ කිතුණුවෝද කියලා. එහෙනම් ඇයි මේ රටේම මේ ලෝකයේම පිරිසක් ආහාරපාන නාස්තිකරද්දී ඇතැම් අප‍්‍රිකානු රටවල් වල කන්න බොන්න යමක් නැතිව ජීවත්වන, ඇටසැකිලි බවට පත්වුන තිරිසන් සත්තු වගේ තැන තැන ඇවිදිමින් කන්න බොන්න යමක් හොයමින් අපේම මිනිස් සොයුරන් දුක් විඳින්නේ, මන්දපෝෂණයෙන් මිය යන්නේ එ් අපේ අසංවේදීකම නිසා නොවේද?

ඉතිං අපි තවදුරටත් උපවාස කරන්නේ බාහිර ලෝකය රවට්ටන්නද?  සම්ප‍්‍රදාය රකින්නද? එහෙමත් නැත්නම් කුසගින්නෙන් පෙලෙන අපේ අසල්වැසියන්ගේ දුක වේදනාව එක මොහොතකට  හරි අත්දැක උපවාසය තුළින් ඉතිරිකරන සුලූ මුදලින් සුලූ හෝ උපකාරයක් ඔවුන්ට කරන්නද කියල මේ චතාරිකයේ අපි මෙනෙහි කරමු.

‘‘සාගින්නෙන් පෙලෙන අය සමඟ ආහාර බෙදා ගැනීමද, ගේ දොරනැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීමද, ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීමද, සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීමද නියම උපවාසය වේ.’’

ගයාන් හිරන්ත සහෝදරතුමා
පළමුවන වසර දර්ශන පීඨය