Friday, May 24, 2013

Vesak Message by Pontifical Council for Inter-religious Dialogue.




අන්තර් ආගමික සංවාදය සඳහා වන ශුද්ධාසනීය කොමිසම

කිතුනුවන් සහ බොදුනුවන්:
මානව දිවිය ආදරයෙන් රැක ගැන්ම හා ප්‍රවර්ධනය සඳහා



වෙසක් දින පණිවුඩය
ශ්‍රී ක්‍රිස්තූ වර්ෂ 2013 / ශ්‍රී බුද්ධ වර්ෂ 2556

වතිකාන රාජ්‍යය

දයාබර බොදුනු මිතුරෙනි,
1 ඔබ උතුම් වෙසක් තෙමඟුල සමරන මේ මොහොතේදීල අන්තර් ආගමික සංවාදය සඳහා වන ශුද්ධාසන කොමිසම වෙනුවෙන් ඔබ සැම වෙත මාගේ හෘදයාංගම සුබ පැතුම් සහ හොඳ හිත පිරිනැමීමට මම කැමැත්තෙමි. මෙබඳු අවස්ථාවක්, වෙනස් සමිප්‍රදායන් දෙකක් නියෝජනය කරන අප අතර, එනම් කිතුනුවන් සහ බොදුනුවන් අතර මිත්‍රශීලී සංවාදය සහ සහයෝගය අලුත් කරගැනීමට අත්වැලක් වනු ඇත.

2   අති උතුම් ප්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමන් ස්වකීය දූත සේවය ආරම්භයේදීම විවිධ ආගමික බැතිමතුන් සමඟ මිත්‍රශීලී සංවාදයක අවශ්‍යතාවය තහවුරු කර ඇත. උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ අප විසින් ආදරය කළ යුතු හා ආරක්‍ෂා කළ යුතු මේ ලෝකය, එනම් මුළු මැවිල්ලම සම්බන්ධයෙන් අපට ඇති වගකීම පිළිබඳව ශු.සභාව අවදියෙන් පසු විය යුතු බවත්, දිළින්දන්, විශේෂ අවශ්‍යතා ඇති අසරණයන් හා සමාජ සාධාරණය සොයා යන්නන් උදෙසා හා සමාජ ප්‍රතිසංධානය සාමය හා සංහිඳියාව උදා කිරීම සඳහා අපට කළ හැකි දෑ බොහොමයක් ඇති බවයි.(ශුද්ධෝත්තම පියතුමන් විවිධ ආගමික හා සභා නියෝජිතයින් හා පැවැත්වු නිල හමුව - 2013 මාර්තු 20) මෙවර ලෝක සාම දිනයෙහි තේමා පාඨය වූයේ "සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය" යනුයි. සාමය හා පොදු යහපත ළඟාකර ගැනීමේ මාර්ගය නම් මනුෂ්‍ය ජීවිතයට හා එහි සියලූ ආකාර පැතිකඩයන්ට එනම් එහි පිළිසිඳ ගැනීමේ සිට ස්වාභාවික අවසානය දක්වාම ඊට ගෞරව කිරීමයි. ඒ අනුව සැබෑ සාමය ඇති කරන්නන් වනාහි පෞද්ගලිකව, සාංඝිකව හා ආත්මිකව මානව දිවියට ආදරය කරන, ආරක්ෂා කර වර්ධනය කරන අයයි. පූර්ණ දිවිය ඉහළම සාමයයි. සාමයට හිතැති කිසිවෙක් මිනිස් දිවියට එරෙහිව ආක්‍රමණ හා සැහැසිකම් නොඉවසයි (ලෝක සාම දින පණිවුඩය 2013 අංක 04)

3 ඔබගේ ශ්‍රේෂ්ඨ  ආගමික සම්ප්‍රදාය  කෙරෙහි කතෝලික සභාවේ ඇති නිර්ව්‍යාජ ගෞරව බහුමාන හැඟීම ප්‍රකාශ කරනු මම කැමැත්තෙමි. ඔබගේ පුජනිය ග්‍රන්ථයන්හි නිතර දක්වා තිබෙන සුසංහිඳිත ජීවිත වටිනාකම් අපි අගය කරමු. ඒවා අතර ජීවිතයට ගරු කිරීම, ධ්‍යානය, නිශ්චලතාවය හා සරල අල්පේච්ඡ ජීවිතය කැපී පෙනේ. බොදුනුවන් හා කිතුනුවන් අතර ජීවිතයට ඇති ගැඹුරු ගෞරවය වැනි පොදු වටිනාකම් හා හර පද්ධතීන් හඳුනා ගනිමින් අප ධර්මයන් අතර නිර්ව්‍යාජ සුහද සංවාදය පෙරටම ගෙන යාම දිරිමත් කළ යුතුව ඇත.

4 දයාබර බොදුනු සොයුරනි, ඔබගේ ප්‍රථම සික්ෂා පදය, වේදනා දැනෙන කිසිදු ජීවියෙකුගේ ජීවිතයක් විනාශ කිරීමෙන් වළකින ලෙස පෙන්වා දෙන අතරම තමන්ගේම හෝ අන් අයෙකුගේ ජීවිතයක් විනාශ කිරීම තහනම් කරයි. බෞද්ධ සදාචාර ධර්මයේ ප්‍රධාන ප්‍රතිඥාව සකල සත්වයා හට මෛත්‍රීය වැඩීමයි යන්න කිතුනුවන් ලෙස අප ද විශ්වාස කරන්නේ ජේසු සමිඳාණන්ගේ ධාර්මික ඉගැන්වීම් සියල්ල පදනම් වන කරුණු දෙකක් මත බවයි. එනම් අසල්වැසියාට ප්‍රේම කිරීම සහ දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමයි. “මාගේ පියාණන් වහන්සේ මට ප්‍රේම කළ ලෙසම මමත් ඔබට ප්‍රේම කළෙමි මාගේ ප්‍රේමයෙහි පවතින්නැයි ජේසු සමිදාණෝ අප හට වදාළ සේක. නැවත  වරක්,  මාගේ ආඥාව නම්, මා ඔබට ප්‍රේම කළ අයුරින්ම ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න යනුවෙන්  ඔවුන්වහන්සේ වදාළ සේක”. (කතෝලික සභාවේ ධර්මෝපදේශය - 1823) කිතුනූ දේව ආඥාවන්හි පස්වැන්න නියම කරන පරිදි "ජීවිත විනාශ නොකරව" යන්න බොදුනු පංච ශීලයෙහි පළමු වැන්න වන "පාණාති පාතා වේරමනී" යන සික්ෂා පදය සමග මැනවින් සැසඳේ. II වතිකාන මහා මන්ත්‍රණ සභා නිල ප්‍රකාශනයක් වන "නොස්ත්‍රා ඒතාතෙන්" සඳහන් කරන්නේ අනිකුත් ආගම්හි ඇති සත්‍යය හා ශුද්ධවූ කිසිවක් කතෝලික සභාව ප්‍රතික්ෂේප නොකරන බවයි (Nostra Aetaten. 2). එබැවින් මට පෙනෙනා ලෙස කිතුනු -බොදුනු පොදු ප්‍රවේණි උරුමය ලෙස පවතින විශ්වීය හර පද්ධතිය පදනම් කරගෙන මිනිස් ජීවිතය සුරකින හා ප්‍රවර්ධනය කරන සාමකාමී හා ආදරණීය වාතාවරණයක් නිර්මාණය කිරීම සඳහා පියවර ගැනීම අද යුගයේ අවශ්‍යතාවයක් වී ඇත.

5 අප කවුරුත් දන්නා පරිදි මේ උතුම් ආගමික ඉගැන්වීම් සියල්ල මානව දිවියේ පූජනීය බව හැඟවූවත් විවිධ ස්වරූපයෙන් පවතින අයහපතේ බලවේග මිනිසත් බව සැහැල්ලූවට ලක් කරමින් පෞද්ගලික වශයෙනුත් සාමුහිකවත් මිනිසත් බවේ වටිනා කම අවප්‍රමාණ කිරීමට විවිධාකරයෙන් ක්‍රියා කරයි. මෙම කණගාටුදායක වාතාවරණය තුළ අප, කළයුත්තේ බොදුනු කිතුණු සැම අත්වැල් බැඳගෙන මානව දිවියට තර්ජනයක් වන බලවේගයන් අපගේ අනුගාමිකයනට හෙළිදරව් කිරීමය. එවන් ශීල ධාර්මික අවදිකිරීමක් තුළින් පුද්ගලිකව හා සාමාජීය වශයෙන් මානව දිවිය එහි විවිධ පැතිකඩ ඔස්සේ ආදරයෙන් සුරකින හා වර්ධනය කරන සැබෑම සාමය ඇති කරන ජනතාවක් බිහිකිරීමට හැකිවනු ඇත. 

6 දයාබර බොදුනු මිතුරනි, අපි මානව දයාවෙන් හා සහෝදරත්වයෙන් ඇළලී මිනිස් දිවිය වඩා සහනශීලී එකක් කිරීම සඳහාත් එහි ශුද්ධවත් බව සුරැකීම සඳහාත් අන්‍යෝන්‍ය සහයෝගයෙන් ක්‍රියා කරමු. එවන් වූ පහන් සිතිවිල්ලක් තුළ නැවතත් ඔබ සැමට සාමකාමී හා ප්‍රීතිමත් වෙසක් මංගල්‍යයක් වේවා! යි ප්‍රාර්ථනා කරමී.